හිසේ අමාරුවක්
“ආයෙ මට පැනඩෝල් කරල් කාඩ් එකකුයි පේයාව පැකට් දෙකකුයි”
කමලාවතී මෙහෙම මුදලාලිට කිව්වේ අතේ තිබුන බඩු වට්ටෝරුව ආපහු මල්ලට දමන ගමන්.
“එහෙත් උණ හෙම්බිරිස්සාව එහෙනං?”
“ඔවු රන්මාමා… නෝනටයි මහත්තයටයි දෙන්නටම. පොඩි බේබිටත් වැඩිය ඇඟට එහෙම පණ නෑ වගේ… රෝස් පානුයි ලුණු කැඳයි විතරයි ගෙදර කැවෙන්නේ”
“උඹත් පරෙස්සන් වෙලා හිටපන් කමලාවතියේ… මේක ටිකක් නරක උණක් වගේ… දැන් රෑවෙන්ට ඉස්සර පලයන් - අබේරත්න මහත්තයට කියාපන් තව මොකවත් ඕන කමක් තියෙනවානම් පනිවිඩයක් එවන්ට කියලා”
කමලාවතී බඩු මල්ලත් අරගෙන පාරට බැහැලා යනවා දිහා රන්බංඩා මුදලාලී බලාගෙන හිටියේ කනගාටුවෙන්. අබේරත්න ඉස්කෝලෙ මහත්තයලා කොච්චර හොඳ මිනිස්සු වුනත් තමංගෙ අක්කගෙ දුව ඒ ගෙදර වැඩට ගියාට මුදලාලී කැමතිවුනේ නෑ. නමුත් කෙල්ල ඉස්කෝලෙත් යවලා පොඩි පඩියකුත් ලැබීම වගේ අක්කගෙ තර්ක වලට මුදලාලිට උත්තර නෑ.
මුදලාලී කඩපිලේ බංකුවේ වාඩිවෙලා හිටි බංඩා දිහාට ඇස් යොමු කළා.
“අපි මොනවා කරන්ටද ඉතින් බංඩයියා? තමංගෙ ගෙදර වගේ නෙවෙයිනේ ඔය පිට ගෙවල්වල ඉන්නකොට? වටේට හැදෙන ලෙඩ සේරම හැදෙයි. මේ දැන් තියෙන උණේ හොඳ එකක් නෙවෙයි…”
මුදලාලිගෙ හිත වැඩකරන හැටි දන්න බංඩා වහාම උත්තරයක් දුන්නෙ නෑ.
“ඒ ඉස්කෝලෙ ජෝඩුව හොඳ මිනිස්සු… මුදලාලී දන්නවනේ මම ඉගෙනගත්තේ බස්නායක ඉස්කෝලේ මහත්තුරුන්ගේ ගෙදර ඉඳලා කියලා... ඒ ගැන කරදර වෙන්ට ඕන නෑ. හැබැයි මේ බෝවෙන උණ නම් ටිකක් සැර එකක් කියලා තමා මටත් හිතෙන්නේ”
බංඩගෙ ප්ලේන්ටියත් අරගෙන එලියට ආපු ඩිංගිරිඅම්මත් කතාවට එකතුවුනා.
“ඈ බංඩයියා… අපි ඔය නිකම්ම උණ කිව්වට උණ ජාති හුඟක් තියෙනවා කියලා එදා රේඩියෝ එකේ කිව්වේ. ඒ සේරටම බෙහෙත් වෙන වෙනම තියෙනවද?”
“ඇයි ඩිංගිරිඅම්මා එහෙම ඇහුවේ? වෙදකමටවත් බහින්ටද?”
වහාම දෙන්න හොඳ උත්තරයක් බංඩගෙ හිතට ආවෙ නෑ. නමුත් මිනිහා දන්නවා ආපහු ප්රශ්නයක් අහලා ලේසියෙන්ම හිතන්න වෙලාව හදා ගතහැකි කියලා.
“අප්පා, මට මොන වෙදකම්ද බංඩයියා? මං නිකමට හිතුවේ ඔය උණ ජාති සේරටම සිංහල බෙහෙතුයි ඉංග්රීසි බෙහෙතුයි තියෙනවද කියලා”
උත්තරේ ගියයුතු මග බංඩට දැන් පැහැදිලියි. ඒත් උත්තර දෙන්න හදිස්සියක් නෑ. බංඩා තේ උගුරක් බිව්වේ කල්පනාකාරී බවක් ආරූඪ කරගෙන.
“මෙතන ප්රශ්න කීපයක් තියෙනවා. අපි සිංහල වෙදකම්, නැතිනම් ආයුර්වේද, කියන්නේ අපෙ මුතුන්මිත්තෝ අපේ ලෙඩවලට කරපු පිළියම්. ඒ බෙහෙත් ඖෂධ හොයාගෙන තියෙන්නේ අවුරුදු සියගානක පළපුරුද්දෙන්… වැරැදි බෙහෙතක් අත්හදා බලලා ලෙඩා තවත් අසනීප වුනොත් ඒ බෙහෙත ඒ ලෙඩට ආයෙ පාවිච්චි කරන්නෙ නෑ. එහෙම අවුරුදු ගණනාවක් ගියහම වෙද පරපුරේ අයගෙ පුස්කොල පොත්වල ලියවෙන්නේ ලෙඩට හරියන බෙහෙත් ගැන විතරයි…”
තව තේ උගුරක්. බීඩියක් පත්තු කරගන්න තවත් විනාඩියක්.
“ඉංග්රීසි, ඒ කියන්නේ බටහිර, බෙහෙත් හැදුනේ අපේ රටේ ලෙඩට හරියන්ට නෙවෙයි. ඒවා ඒ අයගෙ රටවල් වල තියෙන ලෙඩට හදපු ඒවා. ඒ මිනිස්සු ලංකාවට ආපුහම ඉස්සර උන්ගෙ රටවල්වල දැකපු නැති ලෙඩ මෙහෙ දකින්ට ඇති… ඊටත් වැඩිය… උන්ගෙ රටවල්වල තිබුන ලෙඩ මෙහෙ නෑ! එතකොට මොකද කරන්නේ?”
ඒ ප්රශ්නේ ඇහුවේ සභාවෙන්ම. දනපාල කඩේට ගොඩවැදිලා දැන් ටිකක් වෙලා; බංඩට විශ්වාසයි දනේගෙන් උත්තරයක් ලැබෙයි කියලා. හිතුවා වගේම දනේ කතා කරා.
“බංඩයියා කියන්නේ අපිට අල්ලන්නේ සිංහල බෙහෙත් විතරයි කියලද? අපෙ මුදලාලී ආයෙ පැනඩෝල් විකුනන්නෙ නැද්ද?”
දනේ හිනාවුනේ බංඩා අටවපු උගුලට තමා අහුවුන බව වැටහිලා නැතුව. බංඩත් හිනාවුනා.
“දනේ… උඹෙ කතාවේ ඇත්තක් තියෙනවා… හැබැයි මීට අවුරුදු පන්සීයකට ඉස්සර!”
තව තේ උගුරක්.
“ලංදේසි ලංකාවට එනකොට උන් උන්ගෙ කෑම බීම වගේම උන්ගෙ බාසාව, ආගම, බේත් හේත් එහෙමත් ගෙනාවා… වැඩේ කියන්නේ උන් උන්ගෙ ලෙඩ දුකත් ඒත් එක්කම ගෙනාවා! ඊට ඉස්සර නොතිබුන ලෙඩ ලංකාවට බෝ කරා… ඒ ලෙඩ වලට අපෙ තිබුන බෙහෙත් ඇල්ලුවේ නෑ. එතකොට තමා අපි බටහිර බෙහෙත්, වෙදකම් එහෙම වලට පුරුදුවුනේ”
“අලුත් ලෙඩ ජාති නිතරම ලංකාවට එනවා… ඒවට රට බෙහෙතුත් එනවා. නමුත් අපිට ඉස්සර ඉඳන් තියෙන ලෙඩ වලට විජේරත්න වෙද මහත්තයගෙ බෙහෙත් අල්ලනවා… අපෙ රන්බංඩා මුදලාලිට පැනඩෝල් එක්ක කොත්තමල්ලි එහෙමත් විකුනන්ට පුළුවන්!”
ඒ සැරේ එක එක්කෙනා තමංගෙ ලෙඩ වලට සහනය ගෙනදුන් සිංහල බෙහෙත් වර්ණනා කරා. ඉඟුරු කොත්තමල්ලි, පෙරුම්කායම්, කහ වතුර, කොහොඹ කොල, හාතාවාරිය… වයිවාරන රෝග වලට ඔබින බෙහෙත් වර්ග ගැන කතා කිරීම කඩේ හිටපු සියළු දෙනාගෙම විනෝදාංශයක් බවයි බංඩට පෙනුනේ. තමා කතාව නියම තැන නැවැත්වීම ගැන බංඩා සතුටුවුනා.
බංඩගෙ කතා හුඟක් වෙලාවට එයාම ගොතපු ඒවා. නමුත් බොරු කීමේ හරි අනිකුන් රැවටීමේ ආශාවකින් නෙවෙයි ඒවා ගෙතුනේ. දක්ෂ වඩුවෙක් හොඳින් සෑදුනු පුටුවක් දිහා බලලා සතුටු වෙනවා වගේ බංඩා සතුටුවුනේ සම්පූර්ණෙන්ම අලුත්, රසවත් කතාවක් ප්රේක්ශකයන්ට හොඳින් ඉදිරිපත් කරලා. ඔහු කතාවක ඇත්ත නැත්ත ගැන හිතුවේ කලාතුරකින්.
ඩිංගිරිඅම්මගෙ කටට අනිකුන්ගෙ වචන යට කිරීමේ හැකියාව තිබුන බව සේරම දන්නවා. නමුත් මුදලාලිගෙ පවුල හැටියට මේ හැකියාව නිතරම පාවිච්චි කරන්න ඇයට ඉඩකඩක් ලැබුනෙ නෑ. නමුත් අද ඩිංගිරිඅම්මට සියල්ලන්ටම ඇහෙන හැටියට කියන්න දෙයක් තිබුනා.
“මං ඔය බොරු ලෙඩ හදාගෙන අඬන ගෑනියෙක් නෙවෙයි. මං අඳුරන අය දන්නවා මට එන ඉස්රුදාව ගැන. පැනඩෝල් වගේ දේ නැත්තං මට අපායේ ගිහින් ඉන්න එකත් සැපක්! ඔළුව පැලෙන්ට එනවා, ඇස් ඉස්සරහ දැලක් ඇද්දා වගේ, පාට පාට විදුලි කොටනවා ඇස් ඇතුලේ… පැනඩෝල් දෙකක් ගිලලා පැය බාගයක් ඇලවෙලා හිටපුහම ආයෙ ඉස්රුදාව කොහෙන් ගියාද නෑ… එහෙම බෙහෙතක් ලංකාවෙන් ආවත් තුත්තුකුඩියෙන් ආවත් මම නං බොනවා!”
කසු කුසුව පොඩ්ඩක් අඩුවෙනකොට මුදලාලිත් පවුලගෙ කතාවට පක්ෂව කතා කරා.
“හැබෑට කිව්වහම මොකද ඒක ලේසි පහසු කැක්කුමක් නෙවෙයි කියල මටත් පේනවා - මට බයත් හිතෙනවා මූණ දැක්කම… මටම පුදුමයි පොඩි පෙති දෙකක් ගිලලා එහෙම කැක්කුමක් අඩුවෙන එක!”
දනපාල ඒකෙනුත් විහිළුවක් හොයාගත්තා.
“ඒක හින්දම නේ මුදලාලී එව්වා මෙතන විකුණන්නේ!”
බංඩා කැමති නෑ කාගෙවත් අපහසුවක්/අකරතැබ්බයක් ගැන කරන විහිළු වලට.
“පැනඩෝල් වගේ බටහිර බෙහෙත් අපෙ සිංහල වෙදකම් වලට වඩා ඉක්මනට වැඩ කරනවා. ඒවා වේදනාව දැනෙන තැනට කෙලින්ම ගිහින් පිළියම් කරනවා. සිංහල වෙදකමේ මුළු ඇඟම සලකලා බෙහෙත් දෙන්නේ - ඒකයි ඒ පිළියම ඉක්මන් නොවුනට කල් පවතින්නේ… වෙදකම් ක්රම දෙකේම ප්රබල/දුබල ගති තියෙනවා”
මේ වැදගත් ප්රකාශනය තේරුම් ගන්න සභාවට ඉඩ ඇරලා බංඩා තේ බිව්වා. මෙතෙක් වෙලා බිත්තියට හෙත්තුවෙලා නිහඬව කතාව අහගන හිටි සියාතු උගුර පාදලා ප්රශ්නයක් ඇහුවා.
“කල් පවතින විදිහට කැක්කුම ඉක්මනට අඩුකරන බෙහෙත් ඇත්තෙම නැද්ද?”
“උඹ කියන්නේ ඉංග්රීසියි සිංහලයි බෙහෙත්වල හොඳ පැති එකතු කරලා හදපු තනි බෙහෙතක්?”
“එහෙම එව්වා ඇත්තටම තියෙනවද?”
“ඈ සියාතු; ඔය ප්රශ්නේ මෙහෙම හිතලා බැලුවොත් නරකද? මං කියන්නේ… අපිට ඕනෑ වේදනාවෙන් බේරෙන්ට. හරිද? එතකොට වේදනාවක් එනකං ඉඳලා බෙහෙත් ගන්නවට වැඩිය නරකද ඉසේ කැක්කුම් හැදෙන්නෙ නැතිවෙන බෙහෙතක් තියෙනවානම්?”
සියාතු මොකුත් නොකිව්වට දනපාලට කට වහගෙන ඉන්න අමාරුයි.
“ඉසේ කැක්කුම නැති රටක් මෙ ලෝකෙම නැතුව ඇති!”
“දනපාලගෙ කතාව හරියටම හරි. එහෙම රටක් මේ ලෝකේ නෑ. මං හිතන්නේ අපෙ බුදුහාමුදුරුවන්ටත් ඉසේ කැක්කුම් හැදෙන්ට ඇති!”
දනපාලට දිනුම් කනුවක් පේනවා.
“ඉසේ කැක්කුම සදහටම නැති කරන බේත් නෑ එහෙනං? … එ කියන්නේ සියාතුගෙ ප්රශ්නෙට උත්තරයක් බංඩයියා දන්නෙ නෑ!”
බංඩා අලුත් බීඩියක් පත්තු කරේ දනේගෙ වචනේ ඇහුනෙ නෑ වගේ. නමුත් කතා කරේ කෙලින්ම දනේ දිහා බලාගෙන.
“දනේ… ඒකට උත්තරයක් මං දන්නෙ නැති බව ඇත්ත… හැබැයි සමහරවිට උඹ දන්නෙ නැතුව ඇති ඒකට උත්තරයක් ලෝකේ කොහෙවත් නැති බව… ලෙඩ කියන එව්වා හැමදාම එක වගේ තියෙන්නෙ නෑ. ඒවා දවසෙන් දවස වෙනස් වෙනවා. ඒ වගේම ලෙඩක බලපෑම ලෙඩාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. එකම ලෙඩෙන් වුනත් ඩිංගිරිඅම්මට දැනෙන වේදනාව උඹට දැනෙන වේදනාවට වඩා වෙනස්,… එහෙම හිතලා බලනකොට තේරෙනවා ඇයි සියාතුගෙ ප්රශ්නෙට උත්තරයක් නැත්තේ කියලා”
දනපාලට යාන්තමට දැනෙනවා දැකපු දිනුම් කනුව ටිකෙන් ටික ඈත් වෙනවා. වෙන විදිහේ ප්රහාරයක් නැතුව තත්වය වෙනස් කරන්න බැ. බංඩගෙ දුබලතාවය එයාගෙ ‘මහදැනමුත්තා’ කල්පිතය වියහැකි බව දනපාලට වැටහෙනවා.
“බංඩයියට හම්බවෙලා තියෙනවද කිසිම දාක ඉසේ කැක්කුමක් හැදිලා නැති කෙනෙක්? හැදෙන්නෙත් නැති කෙනෙක්?”
බංඩගෙ වේදිකාව ඒ ප්රශ්නෙන් මැවුනා. නමුත් එයට ගොඩවෙන්න ඉස්සර ඩිංගිරිඅම්මගෙන් තව කහට කෝප්පයක් ඉල්ලුවා. තේ කෝප්පය අතට ගන්නතුරු බංඩා බර කල්පනාවක යෙදී ඉන්න බවක් පෙන්නුවා. කතා කරන්න පටන්ගත්තේ බොහොම හිමින්.
හිසේ කැක්කුම් නැති එකම මිනිහයි මට හම්බවෙලා තියෙන්නේ [බංඩා කතාව පටන්ගත්තා] ඒ මම බස්නායක ඉස්කෝලේ මහත්තයගෙ ගෙදර ඉන්න කාලේ. දැනට අවුරුදු පනහකට වැඩිය ඉස්සර. මට වයස පහලොවක් ඇති… ගාමිනී මහත්තයා නුවර ඉස්කෝලෙට ගිය අලුත. මට හිතෙන්නේ ගාමිනී මහත්තයා තමා නරක උණක් ගෙදෙට්ට බෝ කරේ”
[තේ උගුරක්]
අප්පොච්චියේ ඒ උණ! ඇඟපත තලලා දැම්මා වගේලු. හන්දිපත් කැක්කුම, ඔළුව පැලෙන තරමට ඉසරදේ, හිටගෙන ඉන්ට පණ නෑ… මුළු ගෙදරින්ම මට විතරයි බෝවුනේ නැත්තේ. බස්නායක මහත්තයයි නෝනයි වැඩට ගියෙ නෑ සතියක්ම. ගාමිනී මහත්තයා සතියකටත් වැඩිය ඇඳේමයි. උයන්ට හිටපු සුමනා අක්කා පැදුරේ… හොඳ වෙලාවට වැඩිය කෑම ඉවීමක් සිද්ධවුනේ නෑ, ලුණු කැඳයි කොත්තමල්ලියි ඇරුනුකොට. බස්නායක නෝනට තමා හොඳටම අමාරුවුනේ. දවසක් රෑ වෙලා වෙදගෙදර යනකොට තමා ‘ඉසේකැක්කුමෙන් බේරුන මිනිහා හම්බවුනේ.
[තේ උගුරයි බීඩි උගුරයි]
එතකොට අපෙ වෙදා ඔය දැන් වෙදකමේ ඉන්න විජේරත්න මල්ලිගෙ අප්පච්චී. ඒ වෙද ගෙදරමයි හිටියේ…. එදා බස්නායක මහත්තයා මගෙන් ඇහුවා ගිහින් වේදා එක්ක එන්ට පුළුවන්ද කියලා. එහෙම අහන්ට ඇත්තේ රෑ වේගන එන හින්දා - මහත්තයා කැමති නෑ රෑවෙලා මං කොහෙවත් පිටත්කරන්ට. මට ගානක් නෑ - මහත්තයා දීපු ටෝච් එකත් අරගෙන මං පිටත්වුනා, හැතැක්ම එකහමාරේ ගමනට… වෙනදා වගේම මම ගියේ අතරමග නැවති නැවතී, ලේනුන්ට ගල් ගහ ගහ, මගදී කඩාගත්ත පේර ගෙඩියක් කකා. අනික් අයට හදිස්සිවුනාට මට හදිස්සියක් නෑ.
මාගල ඇලේ පාලමෙන් යන ගමන් පිහිල්ලේ නාන මිනිහෙකුටත් පොඩි ගල් කැටයකින් ගැහුවා; හැබයි දුවන්ට ලෑස්තිවෙලා. ගල් කැටේ ඇඟේ වැදුනට මිනිහා හෙල්ලුනේවත් නෑ. හොඳට බැනුම් අහන්ට ලෑස්තිවෙලා මම තව ගල් කැටේකින් ගැහුවා. ඒකත් ඇඟේ වැදුනට මිනිහා තවම පිහිල්ල යට! මිනිහට මීහරක් හමක් තියෙන්නේ කියලා හිතිලා මං ‘අඩෝ මීහරකා!’ කියලා දුවන්ට පටන්ගත්තේ මිනිහා ඒ සැරේ පිහිල්ලෙන් එලියට එන්ට පටන්ගත්ත හින්දා. හැබැයි මට හිනා ගියා රෑවෙලා නාන මී හරකා ගැන!
මං වෙද මහත්තයත් එක්ක ආපහු ආවේ මග නොනැවතී. උන්දැ හයියෙන් ඇවිදින කෙනෙක් - අපෙ විජේරත්න වෙද මලයා වගේම. වෙදා දීපු පොඩි බෙහෙත් මල්ලත් උස්සාගෙන මම පස්සෙන් ආව.
මාගල ඇල කිට්ටුවෙද්දී වෙදා පොඩි ගල් කැටයක් ඇහිඳ ගත්තා. අර මිනිහා තවම පිහිල්ල යට! වෙදා ගල් කැටෙන් මිනිහට ගැහුවා,මං වගේම.
මට හරිම පුදුමයි වැඩිහිටියෙක්, ගමේ වැදගත් වැඩිහිටියෙක්, එහෙම පොඩි කොල්ලෙක් වගේ හැසිරුනාට. ඇල පහු කරලා විනාඩි පහක් විතර මම ඉවසාගෙන හිටියා, වෙදාම කියයි කියලා එයා එහෙම කරේ ඇයි කියලා. ඉවසන්ටම බැරුව මම ඇහුවා ‘ඇයි නාන මිනිහට ගලකින් ගැහුවේ?’ කියලා.
වෙද මහත්තයා නැවතිලා මා දිහා පරීක්ෂාවෙන් බැලුවා.
‘දන්නවද ඒ පිහිල්ලේ නනා හිටියේ කවුද කියලා?’
මම ඔළුව හෙලෙව්වා.
‘ඒ තමා ලෝකේ එකම හිසේ කැක්කුම නැති මිනිහා - ලෙඩෙක් බලන්ට යනකොට එයා දකින එක හොඳ පෙරනිමිත්තක්.
‘එහෙනං ගලකින් ගැහුවේ?’
‘එයාට දැනුම් දෙන්ට ලෙඩෙක් බලන්ට යනවා කියලා’
එතකොට මං වෙදාට කිව්වා මිනිහා මං යනකොටත් පිලිල්ලට ඔළුව අල්ලගෙන හිටියේ කියලා. වෙදා ටක් ගාලා කිව්වා මං කියන්නේ බොරුවක් කියලා. ඊට පස්සේ මං කිව්වා, ඒක බොරුවක් නෙවෙයි - මමත් එක ගල් කැටයක් විසිකරා කියලා. එතකොට වෙදා මහ හයියෙන් හිනාවුනා.
[බංඩා බංකුවෙන් හෙමින් නැගිට්ටා, ගෙදර යන්න ලෑස්ති වෙන්න වගේ]
“එතකොට තමා වෙදා කිව්වේ ‘මං බොරුවක් කිව්වේ උඹ පිහිල්ලට ඔළුව අල්ලගෙන හිටියා කියපු එකට. ඒ හොල්මනට බෙල්ලෙන් උඩ කෑල්ල නෑ - ඒකයි කවදාවත් ඉසේ කැක්කුමක් හැදෙන්නෙ නැත්තේ’ කියලා”